Friday, June 17, 2011

නිම්තෙර දහවන දිගහැරුම.


සතියකට පසු පාසල් යන්නට පෙරාතුව එළැඹි ඉරිදාවේ, වන්දනා මගේ සටහන් පොත් ද රැගෙන ආපසු ආවාය.ඕ මා පිලිබඳව බාප්පා ගෙන් විමසනු ඇසුනි.
"මගේ සල්ලි කන්න හිතාගන ඉගෙන නොගත්තට කමක් නැහැ කියලා ඔය ළමයාවත් කියනවානම් ලොකු උදව්වක්....ඔය ඇතුලෙ ඉන්නෙ.!"
මට නෑසෙන්නට වන්දනාට ඒ වග තුග බාප්පා නොකී වග මට හැඟුනි.
'කියන්නට ඇති දේ වටේ නොයවා කෙලින්ම කීවා නම් කොතරම් අගේ 'දැයි මට බාප්පාට කියන්න්ට සිතිනි.

අනෙක් කාරණාව නම් ,මගේ ඉගෙනුමේ බරපැණ බාප්පා දැරුවේ කවදාදැයි මා අසන්නේ කාගෙන්ද?
මා තීන්ත පිරි පින්සල නැවත වතුරේ එබුවේ නොමනාපයෙනි.
"බාප්පෙ..?"
හෙතෙම ආපසු හැරී බැලුවේ මා දවා හලු කරන්නට තරම් බැල්මකිනි.
"ඇයි..?"
"මාව මුණ ගැහෙන්න එන අයට ඕන මාව මුණගැහෙන්න විතරයි.කාගෙවත් පුහු දේශනා උවමනා නැහැ..!" 

බාප්පාට මා කී දේ විසල් කම්පනයක් ගෙන ආ බව ඒ දෙනෙත් වල අගේට ලියැවී තිබුනි.ඔහු මෙවැන්නක් කිසිවිටෙක බලාපොරොත්තු නොවන්නට ඇත.
"මට ආයෙමත් වතාවක් මේක මතක් කරන්න තියන්න එපා බාප්පෙ.."
මගේ මුරණ්ඩු කම ඔහුගේ විශ්මයට මෙන්ම නිහඬ ,පිටකරගත් නොහැකි කේන්තියටද  හේතුවී ඇතිවග පමණක් මට නිරවුල්ව හැඟුනි.
"උ..උ..ඹ ..හුඟාක්..වෙනස්..වෙලා තුෂිර..!"
"මට වෙනස් වෙන්න වෙලා වන්දනා..,සිද්ධ වෙන වෙනසට සාපේක්ෂව..!"

" අරූට කියපන් මේ වහල යට ඉන්නවා නම් ඒ විදිහට ඉන්න කියලා..නැත්නම්.."
බාප්පා ගේ උස් හඬ මටකුස්සිය දෙසින් ඇසුනි. වන්දනාටද එය නෑසෙන්නට කාරණයක් නැත.ඇය මගේ මුහුණ බැලුවේ කුමක් අරභයා දැයි මට වැටහුනේ නම් නැත.
පිඟන් බිඳෙන හඬ එකිනෙක පරයා ඇසුනි.
" අරූට කියාපන් යකෝ මට මේ ගෙදර ඇති අයිතිය.කියපං...!"
වන්දනා ට නොදනීම වාගේ මගේ අතින් ඇල්විනි.ඒ දෑසේ වූ හැඟීම කියවා ගන්නට බොහෝ අසීරුය,බොහෝම අසීරුය.
ඈ අල්වා සිටි මගේ අත මම සීරුවට මුදවා ගතිමි.
" වන්දනා ,උඹ දැන් පලයං මම පස්සෙ එන්නම් කතාකරන්න..."
" කියපං යකෝ ...උඹේ බඩේ ඉන්නෙ මගේ ළමයෙක් කියලා..කියපං ඌට ...පරයා..!"
" අනේ තුෂිර ඔයා.... පව්.!"
අම්මා මහා හය්යෙන් හඬනු මට ඇසුනි.මගේ ඔලුවට යක්ෂයා එන්නට ප්‍රථම මම එක් වරක් පමණක් වන්දනාට කෑ ගැසීමි..
" දෙය්යන්ගෙ නාමෙට පලයං බං..පලයං ඉතින්..!"
"බැහැ ..මම යතොත් යන්නෙ ඔයාවත් අරගන..!"
ඕ මා කී දේ වැලි කැටයක් තරමට වත් මායිම් කලේ නැත.කලේ මගේ බඳ තදින් බදා උන්නා පමණි.
"ඔව්...ඔව් ..අරගන පලයං ඕකාව මගේ දෑහැට නොපෙනි....ඕකාට මදි පාඩු වෙලා තියෙන්නෙත්.......වෙන්නැතිනෙ.අරං පලයං ඉතින්.."
බාප්පා මගේ කාමරය අසලටම පැමිණ සිරිකිත කථාවකින් වන්දනාට දමා ගැසුවේය.
මම ආයාසයෙන්  වන්දනාගේ මුහුණ බැලීමි.ඕ ලජ්ජාවෙන් හැකිලෙනු වෙනුවට සිතාගත නොහැකි තරමේ දිරියකින් උන්නාය.
" තුෂිර යමං බං ....යමං .කියනදේ අහපං..!"
මට මේ වනචර මිනිසාගේ මුව පොඩි කර දමන්නට සිත්වුවද අම්මාගේ නෙතින් ගලන කඳුලුත් වන්දනා ගේ දිරියත් ඉදිරියේ අවනත වන්නට සිදු විය.
අඩියෙන් අඩිය වන්දනා මා වත්තෙන් එළියට රැගෙන ආවාය.
පාරේවූ විදුලි පහන් කනුවේ ,හිතේ තිබූ කේන්තිය යනතුරුම ,හිසෙන් ලේ පනින තුරුම ගසාගත්තෙමි.නැවත නැවතත් ගසාගත්තෙමි.
දෑස් මතින් බේරෙන රුධිරය අතරින් මා දුටුවේ අම්ම සිහි විසඥව වැටෙන ආකාරයයි.
"  මතක තියාගනින් ...මම ආයෙමත් එනවා ආයෙමත් දවසක එනවා..එදාට ගෙවන්න බලාඉඳපන්...මේ සේරටම."
සිරුරේ සියලුම ශක්තිය ගෙන ලේ පිරී තිබූ මුවින්  බාප්පාට කෑ ගැසීමි.





Saturday, June 11, 2011

නිම්තෙර...,නවවන දිග හැරුම.


නිවස ඉදිරිපිට කනත්ත අරලියා සුවඳින් පිරී ඇත.කනත්තේ නිස්කලංක බව රාස්සිගේ අව්වෙන් වර්ණවත් වී මගේ සිතුවිලි සිත්තම් බවට හරවමින් හිඳී.කවදා නමුත් එන්නට වෙන,එහෙත් කිසිදු අයිතියක් නැති මේ බිම් කඩේ ඉන්නාවුන් හුදෙකලාව තදින් ප්‍රියකරන්නෝ වෙති.ඔවුන් හා ඇසුරට කිසිවකුට ආරාධනා නොකලත් අනාරාධිතව එන්නෙකුට ඔවුන් කරදර කරන්නේ නැත.
"තුෂිර මම උඹව ගෙදරත් බැලුවා...අම්ම තමයි කිව්වෙ මෙතන බලන්න කියලා.අරලිය ගහේ මල් පිපිලා හින්දද මන්දා මෙතන මාර සුවඳයිනෙ .උඹට බය හිතෙන්නෙ නැත්ද බං මෙතනට  ?"
"බය හිතෙන්නෙ මොකටද බං..? ජීවත්ව ඉන්න සමහරු තරම් මේ හොල්මන් නරක නැහැ."
"විශේෂයෙන්  උඹලගෙ බාප්පා තරම් නරක නැතුව ඇති.ඒත් ජීවතුන් අතර තාමත් ඊට වඩා හොඳ මිනිස්සු ඉන්නවා."
මට අහේතුකවම,අප පහර කෑමට ලක්ව හිඳියදී උදව් කළ ඒ කාරුණික මිනිසා සිහිවිණි.

දෙවියන්, දෙවියන් වී ඇත්තේ යක්ෂයා නිසාවෙනි.
" මම ටිකක් විතර බිසි.මගෙ අසල්වැසි ගෑණු ළමයා මාව හොයාගන ,මේ බයේ ගැහි ගැහි කනත්තට ආවෙ ඇයි?"
"ම්..ම්..ම්.ම්ම් මේකයි,උඹෙයි ,හේමන්තගෙයි පොත් ගෙනත් දුන්නොත් අපට පුලුවන් 'සතියෙ නිවාඩුවෙ' මග ඇරෙන නෝට්ස් ටික ලියලා දෙන්න.බිමල් ගෙයි නිශාන්තගෙයි නෝට්ස් නදීලා ලියන්න පටන් අරගන."
"ඒක නම් ලොකූම පුණ්‍යකර්මයක්.! ඒත් උඹට පුලුවන්ද දෙන්නෙක්ගෙ නෝට්ස් ලියන්න..? ඇරත් මම කරන සබ්ජෙක්ට්ස් වෙනස්නෙ..!"
"ම්.ම්.ම් මෙහෙම කරන්නම්, මමයි හෙමන්තයි එකම සබ්ජෙක්ට්ස් කරන නිසා මම උගෙ ඒවා ලියන්නම්.උඹේ ඒවා 'ශානුකා' ට දීලා ලියවන්නම්.ඒකිත් උඹේ ටයිප් ම තමයි."
'ශානුකා'
මට අර ලොකු ආඩම්බරකාර ඇස් ඇති රුවැත්තිය සිහිවුණි.
'ෂර්මිලා තාගෝර්'...?එයාද?
මගේ තියුණු බැල්ම වන්දනාගේ නෙතු විනිවිද යනු දුටිමි.
"ෂර්මිලා තාගෝර් වගේද ෂේප් එක...?ලොකු ඇස්..? නළල වෙහෙරක් වගේ..කොණ්ඩෙ දිගයි..? "
මගේ ප්‍රශ්නාවලියෙන් ඈ මොහොතකට කම්පනය වූ සේය.තවත් මොහොතක් දෙකක් ගත් වන්දනා,සෙමෙන් එහෙත් ස්ථිරව හිස පහලට වැනුවාය.
"මට ..මට උඹෙ පොත් ටික දෙනවද ..පරක්කු වුනා.."
වන්දනා උන්නේ කැළැඹිලිමත් සිතිනි.මා කී දේහ ලක්ෂණ සනාථ කල ඕ ඒ දේහ ලක්ෂණ ඇත්තී දුටුවේ කොහිදීදැයි මගෙන් ඇසුවේ නැත.
මසිත මේ යයි පහදා කිව නොහැකි සිතිවිල්ලක් නිසා පීඩාවට පත්විනි.චිත්‍ර ඇඳීමට ගත් ආම්පන්න හකුලා ඇසිරූ මා වන්දනා හිඳියදීම ආපසු ගියෙමි.
විනාඩි කිහිපයකට පසුව මා මාගේ සටහන් පොත් රැගෙන එත්දීද වන්දනා එතැනම සිටියාය.
 ඇගේ වත පුරාම වූයේ 'මහ මුහුද' වැනි හැඟීමකි.
"තුෂිර ...අපේ වයසෙ අනික් වුන් මුළු ඇඟෙන්ම හිනා වෙත්දි  උඹ හිතෙන් අඬනවා.ඒත් ..මූනිච්චාවට හරි උඹත් හිනාවෙන වෙලාවක් තියනවා.'ශානුකා'හුඟක් පොහොසත්....මම කැමති නැහැ බං අර තත්පර බාගෙට හරි උඹේ මූණට එන හිනාවත් උඹෙන් ඈතට යනවට....!"
ආපසු හැරෙන්නට පෙරාතුව ඕ මගේ වැළමිටට මඳක් ඉහලින් අල්වා ගත්තීය.මට උණුහුමක් දැණුනි.
අදහන්න,
මා කිසිදිනක නොවිඳි සොයුරියකගේ,
වැඩිමහල් සොයුරියකගේ උණුහුම ඒ අත්ලේ ගැබ්ව තිබුණි.
 


Friday, June 3, 2011

අට වන දිග හැරුම.....




ඇඳිරි වැටී තිබුනද ,මගේ ජීවිතය තරම්  හාත්පස අඳුරු නැත.මම හේමන්තගේ නිවසේ විදුලි සීනුව තදින් ඔබා අතහැරීමි.හදිස්සියෙන් මෙන් දිව ආ හේමන්ත ගේ මව් මට දොර හැරියාය.
බෙහෙවින් කරුණාවන්ත තැනැත්තියක වූ ඇය මා දුටු සැණින්ම මුව පුරා හිනැහුනාය.
අව්‍යාජව හිනැහුනාය.
"දරුවො කොහෙද මේ තුවාලත් තියාගන රවුම් ගහන්නෙ?පුතා පහුගිය දවස් දෙක තුනේම ඔයාලගෙ ගෙවල් පැත්තෙ ගියා.ඔයාගෙ කාමරේ ජනෙලේ වහලලු තිබුනෙ.එන්න ඉඳගන්න" 

කිසිවකු මා ඇති නැති වග දැන ගන්නේ මා විවෘතව තබනා කවුළුවකිනි.පසුගිය තෙදින පුරා දවසින් වැඩි කාලයක් එය වසා තිබුනි.
පහුගිය ටිකේ අඳින්න බැරි වුන බැනර් වගයක් අඳින්න ගියා නැන්දේ.චිත්‍ර කථා වගයකුත්  තිබුනා ඒවත් දුන්නා කොලඹ ගිහින්."
මා හිඳගන උන් අසුන අසලටම වී ඕ මගේ හිස අතගෑවාය,මට ඒ සෙනෙහසට ලෝබ සිතිනි.
මම හිස එහෙමම ඇගේ බඳට හේත්තු කළෙමි.

"ඔයා දුක් විඳිනවා වැඩියි පුතා.මටයි හේමන්තගෙ තාත්තටයි ඔයාව වැඩි නැහැ.ඔයා එන්න මෙහාට මම විසි තිස් වතාවක් ඔයාට මේ කතාව කියලා ඇති."
ඈ ආඩපාලි කීවාය .සැබෑය,එහෙත් මා අසරණයකු විය යුත්තේ මගේ හිතටත්,මා නොතකන අම්මාටත් පමණක් විය යුතුය.
"තව අවුරුදු එකහමාරයිනෙ නැන්දෙ.මාස දහ අටයි.ඒ ලෙවල් වලින් පස්සෙ මම පත්තරේට ෆුල් ටයිම් යනවානෙ,ඊට පස්සෙ මම නැන්දලට සලකන්නම්කො මේ කරන උදව් වලට."

අම්මාට අකීකරු වුවද මා අරණායක මහත්මියගේ සිත රිදවන්නට අකමැත්තෙමි.ඒ අඩුම තරමින් ඕ අම්මාට වඩා එක්වරක් හෝ මා"පුතා"නමින් අමතයි.අම්මා පුතා යැයි මට පවසන්නේ බාප්පා නිවසේ නැති විට වග මා හොඳින් දනිමි.
"පත්තරේටත් ගියා කිව්වනෙ,අද නම් අතේ සල්ලිත් ඇති නේද?ඒ වුනාට අද රෑට කෑම අරගනම තමා පුතා යන්නොන හොඳද?හේමන්ත නම් ටවුන් එකට ගියා,අන්කල් උඩ ජිම් එකේ.කැමති නම් යන්න."

"හොඳයි නැන්දෙ මම උඩට යන්නම්"
"පුතා...?"
යන්නට ගිය ඇය නැවත හැරුනාය..ඒ දෑස් වියපත් නමුදු විමසිලිමත් ය.
"දන්නවද?ස්කෝලෙන් ඔයාලට සතියක් පංති තහනම් කරලා කියලා පුතා"
ගැඹුරු සුසුම පිටවූයේත් මා හිස දෙපසට වනන්නට ඇත්තේත් එකම මොහොතක වන්නට ඇත.අප නිවැරදි නමුදු එවැන්නක් අප සියල්ලෝම බලාපොරොත්තු වීමු.
"අපි වැරැද්දක් කලේ නැහැ නැන්දෙ.පාඩුවෙ ඉඳිත්දි උන් තමයි අපිට ගැහුවෙ"

මම හිතේ බරින් පමණක් නිදහස් වන්නට සූදානම් වීමි.අරණායක මහත්මිය තවත් අඩියක් දෙකක් මාඉදිරියට ආවාය.යමක් දොඩන්නට පෙරාතුවම ඒ වතෙ'හි වූ ගැඹුරු බව මට දැණින.එය හිතේ බර දෙගුණ තෙගුණ කළා මිස අන් යමක් නැති.
"පුතාගෙ බාප්පාත් ඇවිත් උන්නා.හැමෝම ඉස්සරහා පුතාට නොසෑහෙන්න දේවල් කිව්වා,ඒත් මම දන්නවා ඇත්ත පුතේ."
"මො..මො.ක.ක්ද නැන්දෙ?"
මගේ දිව සම්පූර්ණයෙන්ම වියැලී තිබිණි.වචනයට අකුරු සොයා ගන්නට සිදුවිනි.
"ඔයාලා කවුරුවත් වැරදි නැහැ පුතා,අපේ පුතාගෙ සම්බන්දය තමයි හේතුව ."
සාරි පොටට උරාගන්නට අමතක වූ එකම එක කඳුළු බිඳුවක් පමණක් ටයිල් පොලවේ විදුලි එළියක් දිදුලමින් තිබුණි.