Saturday, June 11, 2011

නිම්තෙර...,නවවන දිග හැරුම.


නිවස ඉදිරිපිට කනත්ත අරලියා සුවඳින් පිරී ඇත.කනත්තේ නිස්කලංක බව රාස්සිගේ අව්වෙන් වර්ණවත් වී මගේ සිතුවිලි සිත්තම් බවට හරවමින් හිඳී.කවදා නමුත් එන්නට වෙන,එහෙත් කිසිදු අයිතියක් නැති මේ බිම් කඩේ ඉන්නාවුන් හුදෙකලාව තදින් ප්‍රියකරන්නෝ වෙති.ඔවුන් හා ඇසුරට කිසිවකුට ආරාධනා නොකලත් අනාරාධිතව එන්නෙකුට ඔවුන් කරදර කරන්නේ නැත.
"තුෂිර මම උඹව ගෙදරත් බැලුවා...අම්ම තමයි කිව්වෙ මෙතන බලන්න කියලා.අරලිය ගහේ මල් පිපිලා හින්දද මන්දා මෙතන මාර සුවඳයිනෙ .උඹට බය හිතෙන්නෙ නැත්ද බං මෙතනට  ?"
"බය හිතෙන්නෙ මොකටද බං..? ජීවත්ව ඉන්න සමහරු තරම් මේ හොල්මන් නරක නැහැ."
"විශේෂයෙන්  උඹලගෙ බාප්පා තරම් නරක නැතුව ඇති.ඒත් ජීවතුන් අතර තාමත් ඊට වඩා හොඳ මිනිස්සු ඉන්නවා."
මට අහේතුකවම,අප පහර කෑමට ලක්ව හිඳියදී උදව් කළ ඒ කාරුණික මිනිසා සිහිවිණි.

දෙවියන්, දෙවියන් වී ඇත්තේ යක්ෂයා නිසාවෙනි.
" මම ටිකක් විතර බිසි.මගෙ අසල්වැසි ගෑණු ළමයා මාව හොයාගන ,මේ බයේ ගැහි ගැහි කනත්තට ආවෙ ඇයි?"
"ම්..ම්..ම්.ම්ම් මේකයි,උඹෙයි ,හේමන්තගෙයි පොත් ගෙනත් දුන්නොත් අපට පුලුවන් 'සතියෙ නිවාඩුවෙ' මග ඇරෙන නෝට්ස් ටික ලියලා දෙන්න.බිමල් ගෙයි නිශාන්තගෙයි නෝට්ස් නදීලා ලියන්න පටන් අරගන."
"ඒක නම් ලොකූම පුණ්‍යකර්මයක්.! ඒත් උඹට පුලුවන්ද දෙන්නෙක්ගෙ නෝට්ස් ලියන්න..? ඇරත් මම කරන සබ්ජෙක්ට්ස් වෙනස්නෙ..!"
"ම්.ම්.ම් මෙහෙම කරන්නම්, මමයි හෙමන්තයි එකම සබ්ජෙක්ට්ස් කරන නිසා මම උගෙ ඒවා ලියන්නම්.උඹේ ඒවා 'ශානුකා' ට දීලා ලියවන්නම්.ඒකිත් උඹේ ටයිප් ම තමයි."
'ශානුකා'
මට අර ලොකු ආඩම්බරකාර ඇස් ඇති රුවැත්තිය සිහිවුණි.
'ෂර්මිලා තාගෝර්'...?එයාද?
මගේ තියුණු බැල්ම වන්දනාගේ නෙතු විනිවිද යනු දුටිමි.
"ෂර්මිලා තාගෝර් වගේද ෂේප් එක...?ලොකු ඇස්..? නළල වෙහෙරක් වගේ..කොණ්ඩෙ දිගයි..? "
මගේ ප්‍රශ්නාවලියෙන් ඈ මොහොතකට කම්පනය වූ සේය.තවත් මොහොතක් දෙකක් ගත් වන්දනා,සෙමෙන් එහෙත් ස්ථිරව හිස පහලට වැනුවාය.
"මට ..මට උඹෙ පොත් ටික දෙනවද ..පරක්කු වුනා.."
වන්දනා උන්නේ කැළැඹිලිමත් සිතිනි.මා කී දේහ ලක්ෂණ සනාථ කල ඕ ඒ දේහ ලක්ෂණ ඇත්තී දුටුවේ කොහිදීදැයි මගෙන් ඇසුවේ නැත.
මසිත මේ යයි පහදා කිව නොහැකි සිතිවිල්ලක් නිසා පීඩාවට පත්විනි.චිත්‍ර ඇඳීමට ගත් ආම්පන්න හකුලා ඇසිරූ මා වන්දනා හිඳියදීම ආපසු ගියෙමි.
විනාඩි කිහිපයකට පසුව මා මාගේ සටහන් පොත් රැගෙන එත්දීද වන්දනා එතැනම සිටියාය.
 ඇගේ වත පුරාම වූයේ 'මහ මුහුද' වැනි හැඟීමකි.
"තුෂිර ...අපේ වයසෙ අනික් වුන් මුළු ඇඟෙන්ම හිනා වෙත්දි  උඹ හිතෙන් අඬනවා.ඒත් ..මූනිච්චාවට හරි උඹත් හිනාවෙන වෙලාවක් තියනවා.'ශානුකා'හුඟක් පොහොසත්....මම කැමති නැහැ බං අර තත්පර බාගෙට හරි උඹේ මූණට එන හිනාවත් උඹෙන් ඈතට යනවට....!"
ආපසු හැරෙන්නට පෙරාතුව ඕ මගේ වැළමිටට මඳක් ඉහලින් අල්වා ගත්තීය.මට උණුහුමක් දැණුනි.
අදහන්න,
මා කිසිදිනක නොවිඳි සොයුරියකගේ,
වැඩිමහල් සොයුරියකගේ උණුහුම ඒ අත්ලේ ගැබ්ව තිබුණි.
 


1 comment:

  1. සිතිජ හරිම අපූරුවට මේ කතාව ලියාගෙන යනවා... හරිම ලස්සනයි..

    ReplyDelete