Saturday, May 28, 2011

නිම්තෙර ලඟ හිඳ........,හත්වන දිගහැරුම.




................................................................................................
සිරුරේ තුවාල නිසි කලට බෙහෙත් ලැබූ නිසාවෙන් දෙතුන් දිනකින් සුවපත් විය.අම්මාත් බාප්පාත් මා පිලිබඳ නොතැකූ බැවින් මගේ තුවාල සිතට වදයක් නොවිනි.එසේ නමුත් වෙනදා මෙන් නොව නිවසේ හිඳියදී උඩුකය වසා හිඳින්නට ගත වූ තෙදින තුල මට සිදු විය.
නමුදු වතාවක් මා කාමරයෙන් පිටතට ආ කල්හි මගේ වෙනස අම්මාගේ නෙතුවලට හසු විය.ඈ මා හඳුනන්නීය,නාඳුනන්නී සේ උන්නේ වී නමුදු ඈ මා හඳුනන්නීය.

මගේ මව් පෙම උවමනාවෙන් මට යටපත් කරගත නොහැකිවා සේම අම්මාටද ඇගේ දරු පෙම උවමනාවෙන්  සඟවා ගන්නට නොහැක.අද එය බෙදී ගිය දෙයක් නමුදු දරු පෙම යනු දරු පෙමය.
"තුෂිර,මොකද ඔයා වෙනස් වෙලා  ?ඔයා මොනවා හරි හංගන්න හදනවා."
"මම  ?නැහැ...!හැංගුවයි  මට මේ ගෙදරින් අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැනෙ නේද?"
මගේ පිළිතුරෙන් අම්මාගේ සිතට ආ කම්පනය සඟවාගන්නට ඈ අසාර්ථක උත්සාහයක යෙදුනාය.

"පුතා මම... මගේ පුතාට  බැරිතරම්ම අසරණ අම්මා කෙනෙක් කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනද?"
වට පිට බලා කිසිවකු නොමැති වගට සැක හැර, ඕ පරෙස්සමින් වචන හැසිරූ බව මගේ සිතට නොතේරුණා නොවේ.
"තව අවුරුදු ගානකින් ඔය කතාවෙ අනික් පැත්ත මට කියන්න සිද්ධ වෙන්න එපා කියලයි මම පතන්නෙ"
සිතේ දුක දෑසින් පනින්නට පොර කෑවේය.කරන්නට දෙයක් නොමැති තැන මම වේගයෙන් ඇසිපිය සැලුවෙමි.
කඳුළු මිස එයින් දුක නම් යට ගියේ නැත.
" ඔයා මොකටද එක එක්කෙනා එක්ක ගහගන්න යන්නෙ තුෂිර  ?ඔයාට ඕන මගෙන් පළිගන්නද  ?"
අම්මාද වේගයෙන් ඇසිපිය සලනු මට පෙනුනි.
"කව්ද කිව්වෙ??"
මට අම්මාට කෑ ගසා'මගේ දේවල් හොයන්නෙපා 'යයි කියන්නට අවැසි වූ නමුදු මා නිහඬවම තේරුමක් නැති හිනාවක් දොරකඩ මල් නැති හෙන්දිරික්කා පඳුරට දමා මගට බැසීමි.
"බාප්පාට ඔයා ගැන ආරංචි වෙන දේවල් එච්චර හොඳ නැහැ.!ඒ නිසා රෑ වෙන්න කළින් ගෙදර එන්න බලන්න."
අම්මා මා පසුපසම ගේට්ටුව අසබඩ තෙක් ආවාය.ඒ බොහෝ කළාතුරකින් සිදුවන්නකි,ඒ ද බාප්පා ගෙදර හිඳී නම් නොවේ.
"ඇයි එයාට මගෙ හොඳ විතරද ආරංචි වෙන්න ඕන...?පාඩුවෙ ඉන්න කියන්න."

"පුතා ගෙ තාත්තා නම් කවදාවත්ම ඔහොම නැහැ.එයා මගෙ හිත රිද්දලා ගෙදරින් එළියට ගිහින් නැහැ....!"
අම්ම වැකිය නවතා දිගු සුසුමක් ඔහේ දියව යන්නට හැරියාය.
"ඒත් ඔයා ඒ වගේ නෙවෙයි....හ්.ම්.හ්."
මම පාපැදියට නැග ආපසු අම්මා දෙසට හැරුණෙමි.
"මේ ගෙදර...,මම තාත්තා ගෙ පුතා කියන එකේ අයිතිවාසිකමවත් ඔයාගෙන් මට ලැබෙන්නෙ නැතිවෙනකොට ,මම බෝධිසත්වයෙක් වෙන්න හැදුවට ඒක සාර්ථක නැහැ."
වතාවක් වත් ආපසු හැරී නොබැලූ මම පාපැදියේ පැඬලය තදින්,හැකි පමණ තදින් පෑගුවෙමි.




Friday, May 20, 2011

නිම්තෙර ලඟ හිඳ......,හයවන දිග හැරුම


......................................................................................................
"අර මනුස්සයා ඇවිත් අඬගහනවා බලපන්කො !"
ඔහු අවසාන වදන කීවේ තරමක තදෙනි.එනිසාමදෝ මට එදෙස බලන්නට සිත් විනි.
සිය දියණිය පාසලට භාර දෙන්නට පැමිණි තැනැත්තා මඳහසක් ද සහිතව අප දෙස බලා සිටියේය.
කලින් පසුපස අසුනේ හුන් ඔහුගේ දියණිය මෙවර ඔහු හා අසුන් ගෙන සිටියාය.

"අර බලහන්කො අරකි දැන් ඉස්සරහා ඉඳගන ඉන්න හැටි."
"උන්ගෙ කාරෙකේ ඒකි ඔලුවෙන් හිටගන උන්නත් උඹට මොකද බං?"
"පුතාලා ,අපි යමු .බෙහෙත් ටිකක් දාගමු.ඔක්කොමලා ඇවිත් නගින්න."
කාරුණික වූ නමුදු නියෝගයක්, විධානයක් ඒ හඬෙහි ගැබ්ව තිබුනි.
මම පාදයක් පෙරට තැබීමි."යමල්ලා!"ආපසු හැරී බලා අනෙකුන්ගේ හැඟීම් පිරික්සන්නට මට අවැසි නොවිණි.මම නිහඬවම මෝටර් රථය තුලට වැදීමි.විනාඩියක නැත්නම් දෙකක ප්‍රමාදයකට පසුව ගජමා ත් බිංකුණ්ඩාත් පැමිණ ,අසුන් ගති.
.................................................
සිරුරේ වූ තුවාල වලට බෙහෙත් දැමූ පසු දොස්තර ගාස්තුව ගෙවන්නටද ඒ පුද්ගලයා සැරසුනේය.ඔහු කරදර වින්දා බොහෝය.
"අන්කල් අපි නිසා කරදර වින්දා ඇති.තරහා වෙන්න එපා ,බිල අපි ගෙවන්නම් .පොඩ්ඩක් අපිව තේරුම් ගන්න  "
බිංකුණ්ඩා දරදඬු නොවන එහෙත් බැගෑපත් ද නොවන තත්වයක හිඳ කරුණුවටහා දෙන්නට උත්සාහ කරමින් උන්නේය.
සිය උපනෙතු ගලවා එදෙස මොහොතක් බලා හිඳ අනතුරුව අපදෙස ඊට වඩා කාලයක් බලාසිට කෙටි සුසුමක් වාතලයට මුසු කළේය.
ඔහු අමනාප වේ දැයි බියක් මට අහේතුකවම දැණුනි.
"පුතා.. කොළුකම කියන්නෙ ඒකට.මගේ විරුද්ධත්වයක් නැහැ.ඒත් තවමත් මම හිතන්නෙ ඔයාලව ඔයාලගෙ ගෙවල් වලට ඇරලලා එන එක මගේ වගකීමක් කියලයි."
මට අර සන්සුන් එහෙත් ආඩම්බර දෙනෙතු දෙස බැළුනි.ඒවාද මා දුටු නමුදු එසැනින්ම ම'නෙතු බැම්මෙන් ඇගේ නෙතු මඟහරින්නට වග බලාගති.මගේ නෙත් කෙවෙනි දැවිල්ලෙන් වෙළුනි.ඒ සිරුරේ වූ තුවාල අරභයා නම් නොවන වග මා දැන උනිමි.
"කමක් නැහැ අන්කල් ,මේ දේවල් උවමනාවටත් වැඩියි.අපි යන්නම්. අනික අපි ඉන්නෙ එකම හරියක නෙවෙයි,ඒක නිසා අපිව ඇරලවන එක ඇත්තටම අන්කල් ට කරදරයක්."
මේ කරුනාවන්ත මිනිසා ගේ මනුසත්භාවයටත් වඩා ඇගේ නෙත්වල තිබූ ගර්වය මගේ සිත පාරවන්නට ඇත.එහෙයින්ම මා ඔහු පිලිකෙව් කලෙමි.
සිය උපනෙතු පිසදා යළි පළඳා සිය බැල්ම පිළිබඳ සෑහීමට පත්වූ ඔහු මුව විවර කළේය.
"හරි පුතා මමත් ඔය වයස පැන්නානේ,හැබැයි ඉතින් කොළුකම් කොළුකම් වලින් එහාට යවන්න හදන්නෙපා"
ඔහුගේ අවවාදාත්මක කථාවට ගජමා හිසකසා බිමට හිනැහුනු අතර,බිංකුණ්ඩාත් මමත් ඔහුගේ සුරත් බදා ස්තූති කළෙමු.එහෙත් ඒ ආඩම්බරකාරී නම් වතාවක් වත් වැරදීමකින් හෝ අප දෙස නොබලන්නට ප්‍රවේසම් වූවාය.
"අන්කල්ට බොහෝම ස්තූතියි!"
නිහතමානී සිනහවකින් සියල්ල පිළිගත් හෙතෙමේ අපට පිළිතුරු පෑවේ වචන තුනකිනි.
"පුතාලා මමත් තාත්තෙක්"
සහේතුකව ඉපැදි විසල් දුකකුත් සමග මට මගේ තාත්තාව සිහිවුනි.






Saturday, May 14, 2011

"නිම්තෙර ලඟ හිඳ" ......පස්වන දිගහැරුම..!





බොහෝ සේ දිගටි නොවූ ඕවලාකාර හිස,වෙහෙරක මුදු හැඩය සිහිගැන්වූ නළලත,විසල් සන්සුන් නෙතු,මනා සේ වාත්තු කර නිමැවූ නාසය ,සිහින් දෙතොල්,උල් නිකට, ආදී සියල්ල එකට කැටි වූ තැන මා දුටුවේ නවීන පන්නයේ "ෂර්මිලා තාගෝර්" කෙනෙකි.
අදහන්න, ඇය ෂර්මිලා තාගෝර් ට වඩා සුන්දරය.තර්කයක් නැත.

"ඉන්නකො දරුවෝ,මේ පුතාලට කරදරයක් වෙලා වගෙයි.බලන්න,ඇඳුම් හෙමත් ඉරිලා.!"
හෙතෙමේ සිය දූ ඇමතූ මුත් මට හැඟුනේ බෝසේ සන්සුන් හඬින් දුන් අණක් පරිද්දෙනි.
මම තවත් වතාවක් ඒ නෙතු සෙවීමි.ඒවා අප හුන් පසට අනෙක් පස  තුබූ මොනවාදෝ සොයමින් උන්නාය.

"පුතාලා ට කරදරයක් වෙලා වගෙයි.ඔයාලාට උදව්වක් ඕන කියලයි මම හිතන්නෙ,මට පුලුවන් ඔයාලාට උදව් වෙන්න."
සැවොම පිළිතුරක් බලාපොරොත්තුවෙන් එකිනෙකාගේ මුහුණු පිරික්සුවෝය.
එහෙත් ලැබුනු දෙයක් නම් නැත.එම තැනැත්තාම යලි කට හඬ අවදි කළේය.

"තුවාල වෙච්චි පුතාලා මේ කඩේ ගාව ඉන්න.මම ආපසු එත්දි ඔයාලව ගෙවල් වලට ඇරලවන්නම්.ඒ ගමන්ම  තුවාල වලට බෙහෙත් දාගමු.!"
එ නාඳුනනා තැනැත්තා පාසල තුලට ගියේ අප ඉදිරියේ පොරොන්දුවක්ද තබාය.
යන්නට පෙරාතුව මා කුමක්දෝ නොදන්නා කාරණයක් උදෙසා ඒ සන්සුන් දෙනෙතු සෙවීමි.
මා ජීවිතයේ කිසිදා නොදැකි හැඟීමකින් ඒ නෙතු පිරී තිබුනි.

"කව්ද බං ඒ උත්තමයා..?"
ගජමා බැලුවේ මා දෙසය.
"කව්ජ..?ඇයි උඹ හිතුවෙ මම ගොය්යගෙ ඇනෙක්ස් එකක පදිංචි වෙලා ඉන්නවා කියලද?එහෙම නැත්නම් ජේම්ස් බොන්ඩ් කියලද?"
"පලයං බං යන්ඩ!උඹ මේ අනාගත් නෑ කමක් හදාගන්ඩ වගේ හිටි හින්දා මම ඇහුවෙ"

" 'නෑ' කමක් හදාගන්ඩ මට 'ඕනෑ' නෑ.මට දැන් ඕන මේ හිඟන්නො වගේ ඉන්නෙ නැතුව ගෙදර  යන්න විදිහක් හොයා ගන්න.කට වහං  ඒ ගැන පොඩ්ඩක් හිතහං,වාචාලයා වගේ කියවන්නෙ නැතුව."
මගේ දෑත් මිට මෙලවිනි.වචනවලද ගින්දර තැවරී තිබෙන්නට ඇත.
"මේ හ් ,වඳින්නම්. උඹලට ගහගත්තා මදිද බං?පලයල්ල ශාන්ත අය්යගෙ කඩේ පිටිපස්සට.මම ෂර්ට් දෙක තුනක් අරන් එන්නම්,ඉන් පස්සෙ අර ගොබිලා උඹලව ගෙනිහින් දාවිනෙ යන්න ඕන තැනකට.
.................................................................................................

හේමන්ත ගෙනා ඇඳුම් වලින් සැරසී අප පාසල් පටුමග ගෙවා මහ පාරට පැමිනියෙමු.අපට ඉන්නට කියූ පුද්ගලයා පිළිබඳව කිසිවකු තැකීමක් කළේ නැත.'එතොත් ආවාවෙ' යන්නට වඩා හැඟීමට වඩා යමක්,අප කිසිවකු තුල ඔහු සම්බන්ධයෙන් තිබුනේ නැත.
"උඹ හෙට එනවද තුෂිර?"
බිංකුණ්ඩා ඇසුවේ මගෙනි.
මම ගජමාගේ මුහුණ දෙස බැලීමි.

"එමුද ?"
"වන්නියාගෙන් තත්වෙ දැනගෙනම එමු.පිනාට සීන් එක ලීක් වෙලා තිබුනොත් කොහොමටත් සතියක ටොපියක් ෂුවර්.පොඩ්ඩක් බලලා එන එක ඇඟට ගුණයි."
එසැණින්ම වාගේ අප අසලින් නැවතූ වාහනයක නළා හඬක් ඇසුණි.
" තුෂිර..?"
බිංකුණ්ඩා ගේ හඬ මොහොතක නිහඬ බව බිඳලුවේය.
"මොකද බං...??".


විරාමයකට අවසරයි.......!









Sunday, May 8, 2011

"නිම්තෙර ලඟ හිඳ " සිව්වන දිග හැරුම.....





"උඹලා හිතන්න එපා මේක මෙතනින් ඉවරයි කියලා...මේ පටන් ගත්තා විතරයි..ඒක දැනගනිල්ලා."
හේමන්ත ගේ කමිස කොලරයෙන් ඇල්ලූ තැනැත්තා යළි යළි පාරම් බෑවේය.
"තුෂිර මේ ........ගෙ කට තවමත් වැහිලා නැහැ වගේ.තව දෙක තුනක් වනලා යංද?"
ඕන්නෑ ගජං,සෙනග එහෙන් මෙහෙන් පිරෙන්න කලින් යමන් ස්කූල් එක ඇතුලට.නෝන්ඩි නොවී."
මා වෙනුවට හේමන්ත පිලිතුරු දුන්නේය. බොහෝම නිවීසැනසිල්ලේ පිලිතුරු දුන්නේය.
"උඹලට ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් ඉස්සරහට ආවාට.මාව මරන්න හැදුවත් මම කොහොමද බං ඌට ගහලා ගිහින් හෙට අර කෙල්ලගෙ මූන බලන්නෙ?  මොනවා කලත් ඌ දිලානි අක්කගෙ අය්යා.මම උඹලත් එක්ක උන්ට ගහන්න නාවට මොකුත් තරහක් තියනව නම් උඹලටතේරුන දවසක මට සමාව දීපල්ලා.ඒත් උඹලට අද උඹලට ඕවා තේරෙන්නෙ නැහැ මචන්."

හේමන්ත පාසල් පටුමගට හැරෙමින් කීවේය.ඊට පෙරාතුව විසීරී ගිය අපගේ පොත් පත් අප'තට දුන්නේ ද ඔහුය.කිසිදු හැඟීමක් තොරව අපිදු හේමන්ත පසුපස වැටීමු.පාසල් ගේට්ටුව අසලටම පැමිනෙනා තෙක් කිසිවකු කිසිවක් දෙඩුවේ නැත.අවසානයේ මුව විවර කලේ ගජමාය.
"උඹලා හිතනවාද අපිට මේ විදියට ස්කෝලෙට ගිහින් අද දවස කරදරයක් නැතිව ගත කරන්න පුලුවන් කියලා...?" 
"කව්ද බං අද ස්කෝලෙ ඉන්නෙ?මම උඹලට කැඩෙට් රූම් එකෙන් ඇඳුම් ඉල්ලලා දෙන්නම්.උඹලා අද ආපහු පලයල්ල,මම උඹලට නෝට්ස් කෙල්ලො ලව්වා ලියවලා දෙන්නම්.හරිනෙ?"
හේමන්ත සිත රැඳි සැළසුම විස්තර කලේය.
"මොන කෙහෙල්මලකින් හරි කමක් නැහැ මට ගෙදර යන්න ෂර්ට් එකක් හොයලා දියන් මචං.මේක ඇඳන් 'ජිප්සීස්'වගේ යන්න බැහැ පාරෙ...!"
මම කලහ කරත්දී ඉරුණු සුදු කමිසය පෙන්වා කීමි.එය ඉරී ඇත්තේ යළි පිළිසකර කළ නොහැකි අයුරිනි
'බ්‍රාස්ස්!!!"
"තුෂිර අයින් වෙයන් යකෝ ....රෝද හතරක්....අයින් වෙයන්...!"
ගජමා කෑගසත්දී ඒ මෝටර් රථය අප අසලටම පැමිණ තිරිංඟද තද කර අවසන්ය.,පහත් කළ පැති වීදුරුවෙන් මැදි වයසේ වූ බොහෝම කරුණාවන්ත පෙනුමැති පුද්ගලයකු හිස එළියට දැමුවේය.
"පුතාලා පාරෙ යත්දි ඔයිට වඩා සැලකිලිමත් වුනොත් හොඳයි නේද..?"
ඒ නිවුණු පෙනුමැත්තා පෙනුමටම ගැලපෙන ස්වරයකින් අප ඇමතුවේය.ඉඳින් අපගේ මදාවි කම් කිසිවක් නැගී සිටියේ නැත.
"සොරි අන්කල් අපි කල්පනාවක ආවෙ...!අන්කල් ස්කූල් එකටද යන්නෙ?"
හෙතෙමේ සිය සන්සුන් සිනාව නැවත වරක් පෑවේය.
"ඔව් පුතා...!මගේ දුව ඇඩ්වාන්ස් ලෙවල් කරන්නෙ...!"
"තාත්ති අපි යමුද...?"
නිවීසැනසිල්ලේ මෝටර් රථය තුලින් ගැලූ ගීතවත් හඬක් ඔස්සේ මගේ නෙතු දිව්වේය.
අදහන්න,
එහි උන්නේ මා මෙතුවක් දැකි සුන්දරම තැනැත්තියයි.සිත්තමකටත් වඩා ඕ සුන්දරය.

                                                                 


Sunday, May 1, 2011

නිම්තෙර ලඟ හිඳ....තෙවන දිග හැරුම.




'තුෂිර..?"
ගජමාගේ වදනේ ප්‍රශ්නාර්ථයක් තිබුනේ නමුදු කිසිවක් ක්‍රියාත්මක කරන්නට තරම් එහි සූදානමක් තිබුනේ නැත.මා ද දෙවුර හකුලුවා කීවේ වදනකි.
"මන්දා බං..!"
 අප අසලට පැමිණි සිව්දෙනා ගෙන් එකෙකු සිය හිස් ආවරණය ගැලවූවේය.ඔහු උන්නේ හේමන්තට සමීපයෙන්ය.
හෙමන්තගේ දෑස් විසල් වූයේ විශ්මයෙනි.හිස් ආවරණය ගැලවූ තැනැත්තා කොහේදී හෝ දැක තිබූ නමුත් කව්දැයි නිශ්චිතවම කියන්නට තරම් මගේ මතකය ශක්තිමත් නැත.


මම බිංකුන්ඩා දෙස බැලීමි.
"දිලානි අක්කගෙ අය්යා බං.."
අමුත්තා ඒ වන විටත් හේමන්තගේ කොලරයෙන් අල්වා හමාරය.මා වහා ඔහු අසලට ගියෙමි.අපේ පිරිවරද ඔහු වටාය.
"  තමුසෙට මාව අඳුනන්න බැරිවෙන්න විදිහක් නැහැනෙ නේද?තමුසෙට දෙතුන් වතාවක් කිව්වා මගෙ නංගි එක්ක තියන සම්බන්ඳෙ නතර කරන්න කියලා.හොඳින් කියන දේවල් තමුසෙට තේරෙන්නෙ නැත්ද ඕයි..?"

කිසිවක් නොකියු හේමන්ත කරබාගනම උන්නේය.
"  අද මම තමුසෙගෙ ඇට තලනවා.අක්කෙ අක්කෙ කියකියා ඇවිත් කෙල්ලො අමාරුවෙ දාන්න හදනවට."
ඔහු හේමන්තට පහර දීමට එසැවූ සුරත මා වහා පහත හෙලීමි.
"එච්චර හරියක් නම් කරන්න බැහැ අය්යෙ ,හොඳින් කතා කරලා කරන දෙයක් මිසක්." 

" ඔව් අය්යෙ ඔයාගෙ නංගිට දහ අට සම්පූර්ණයි.අපේ එකාට තව මාස කීපෙකින් දහටයි.අනික ඔයාගෙ නංගිට හේමන්ත ගෙන් අඩු පාඩුවක් වෙන්නෙ නැහැ.ආදරේ කරන්නෙත් උන් නම්,කසාද බඳින්නෙත් උන් නම්,බැඳලා ජීවත් වෙන්නෙත් උන් නම් නිකන් බොරුවට ගාය හදාගන්නෙ නැතිව ඉන්න අය්යා..!"
ගජමාට තමාගේ අදහස අවසාන කරන්නට පමණක් කාලය ලැබිණි.

කෙසඟ සිරුරින් යුත් ගජමා වීසි වී ගොස් අසල වූ දිය පහරට වැටුනි.මගේත් බිංකුන්ඩා ගේත් හිස් මුදුනට යක්ෂයා ආරූඪ වූවේය.
හේමන්ත නිසලව බලාහිඳියදී අප දෙදෙනාම පැන ගජමාට පහර දුන් පුද්ගලයාට පහර පිට පහර එල්ල කළෙමු.ඔහු වේදනාවෙන් ඇඹරී බිම පෙරලුනි.
" අඩෝ උඹලා අපේ වුන්ට ගහන්න තරම් චන්ඩිද ඩෝ..?"
එක් වරම නොසිතූ මොහොතක බයිසිකල් දම්වැලක් මගේ සිරුර පුරා එතී ගියේය.ගජමා පැමිණ එකෙකුටත්,බිංකුන්ඩා තවකෙකුටත් පහර දෙනයුරු ඉවසිය නොහැකි වේදනාවෙන් වුවද 
දැකීමෙන් ධෛර්යමත් වූ මා පැන මට පහර දුන් පුද්ගලයාගේ මුහුණ පුරාවට පහර පිට පහර දුනිමි.




"  අවලම් බල්ලා ,එක එකාගෙ ගොටු ලෙව කකා කොල්ලෙකුට අත උස්සන පාහරයා..."
මෙහි ලා ලිවිය නොහැකි බොහෝ දෑයින්,බැණ වදිමින් අප අසිහියෙන් මෙන් ඔවුන්හට පහර දුන් අප අවසානයේ ,ඔවුන් පැමිණි යතුරු පැදිද අසල වූ මඩ වගුරට පෙරලා දැමුවෙමු.
මගේත් බිංකුන්ඩාගේත් මුවපැලී ලේ ගලා විත්  තිබුණි.
ඊට අමතරව මගේ පිටත් පපුවත් තුවාල වී,කමිසය ඉරී තිබුණේ පලමුවෙන්ම වැදුනු දම් වැල් පහරිනි.