Sunday, April 24, 2011

"නිම්තෙර ලඟ හිඳ "දෙවන දිග හැරුම.......!


"යනෙන මගතොට 
දකින ඉඳහිට
දුටුව නොදුටුව
සේම යනු මැන.
යළිදු මඟකදි
හමුවුනෝතින්
සඳවතියේ
මඟ හැරපන්නේ..."


මා ගෙට ගොඩ වෙත්දී අම්මා මා වීදුරුව ගැසූ ශබ්දය ඇසී දෝ උළුවස්සෙන් කර පොවා හිඳියාය.විසල් ප්‍රශ්නාර්තයක් ඈ වත පුරා තිබෙනු මා දුටිමි.
"මොකද පුතේ ?"
කියන්නට දහක් දෑ සිත පුරා කැකෑරුනද සියල්ල සිතෙහිම තිබෙන්නට හැර මගේ කාමරයට වැදී දොර වසා ගතිමි.
"මොකජ පුචේ තමයි,ඉහ තිබිච්ච තැනට කර එනකොට අම්ම අප්ප අමතක වෙන්න තව ඒ හැටි කාලයක් යන එකක් නැහැ"
බාප්පා පැමිණ සියල්ල ඔහුගේ වාසියට හරවා ගන්නා සැටි ඇසුනු මුත් එය නිවැරදි කරන්නට යන්නට මා නොසිතුවේ දෙකරුණක් නිසාවෙනි.ඔහු බීමත්ව සිටීමත්,මගේ වරදම උලුප්පා පෙන්වන බාප්පාට මා කෑගැසුවෝතින්, එයම ,ඔප්පු කරන්නට කදිම අවස්තාවක් වන නිසාවෙනි.
අප රකින්නට කියා බාප්පා ආ මුත්,හැමදා සේම එදාද තාත්තා ගේ පාරිතෝෂික දීමනාවෙන් ඉදෙන බත් පතට කිසිවකු අතක් වත් තැබුවේ නැත.බීමත් කම බාප්පාගේ කුසගින්න වලකාලූ අතර අම්මා මා නොමැති නිසාවෙන් යුත් දුකින් කෑවේ නැත.කරකියාගත හැකි යමක් නොමැති දුක,පසුතැවිල්ල නිසා මට කුසගිනි නොදැනින.
                                            ...................................................................
රාත්‍රිය අසුන්දර වුවද උදෑසන පැහැබර එකක්ම විය.
මමත් බිං කුන්ඩාත්,ගජමාත් පාසලට හැරෙන තැන වූ බෝක්කුව මත වාඩි වීසිටියෙමු.පාසල ඇරඹී පැය භාගයකට වඩාගත වී නොතිබෙන්නට ඇත.පෙරදා සිදු වූ දෑ නිසාවෙන් මට සියල්ල අපුලවී තිබින.
"කෝ බං මේ ලුය්යා තාමත් නැහැනෙ.මොන මඟුලක ගියාද මන්දා?"
ගජමාට නිහඬ බව කටු අනින්නට ඇත.
"ඒක තමයි බං... මේ ගොරකයා තාමත් නැහැ.අදත් අර 'ලොකු එක්කෙනාගෙ' ගෙදර රිංගලාද දන්නෑඅනිත් එක උදේම දෙක 'මරේ'ගෙ.එක පාරක් 'කච' ගෑවොත්,පීරියඩ් දෙකම 'කච'."
බිං කුන්ඩා සිය අත රැඳි සිගරට් කොටය බෝක්කුවෙන් පහල ගලා යන ජල පහරට අතහැරියේය.
"කව්ද බං මරේ ගෙ දෙක ඉවර වෙන්න කලින් යන්නෙ?තව ටිකකින් ලුය්යා එන්නෙ නැතෑ.කැන්ටිමට ගිහින් කාලා මරේ යන සිල්වා එන අතරේ පන්තියට ගිහින් ඉම්මු.ෂේප් නෙ වැඩේ?"
"ෂෙප් වෙන්නෙ නැහැ පිනා ට හෙම මාට්ටු වුනොත් .!"
කොහේදෝ සිට ලුය්යා ආවේ එසේ පවසාගනය.
"යමන් යමන් දැන් මරේ යන්නත් හිත හදාගන ඇති.සිල්වා එන්න කලින් වඩයක් ප්ලේන්ටියක් බඩට දාගන්නත් එපායෑ."
එක් වරම අප අසලින් ට්‍රේල් වර්ගයේ යතුරු පැදි කිහිපයක් මහා හඬින් තිරිංග දමමින් නතර කෙරින.අප සිව් දෙනා උනුනුන්ගේ මුහුනු වල රැඳි හැඟීම් පිරික්සුවා මිසකිසිවකු කිසිවක් කතා නම් කලේ නැත.


No comments:

Post a Comment