Friday, June 3, 2011

අට වන දිග හැරුම.....




ඇඳිරි වැටී තිබුනද ,මගේ ජීවිතය තරම්  හාත්පස අඳුරු නැත.මම හේමන්තගේ නිවසේ විදුලි සීනුව තදින් ඔබා අතහැරීමි.හදිස්සියෙන් මෙන් දිව ආ හේමන්ත ගේ මව් මට දොර හැරියාය.
බෙහෙවින් කරුණාවන්ත තැනැත්තියක වූ ඇය මා දුටු සැණින්ම මුව පුරා හිනැහුනාය.
අව්‍යාජව හිනැහුනාය.
"දරුවො කොහෙද මේ තුවාලත් තියාගන රවුම් ගහන්නෙ?පුතා පහුගිය දවස් දෙක තුනේම ඔයාලගෙ ගෙවල් පැත්තෙ ගියා.ඔයාගෙ කාමරේ ජනෙලේ වහලලු තිබුනෙ.එන්න ඉඳගන්න" 

කිසිවකු මා ඇති නැති වග දැන ගන්නේ මා විවෘතව තබනා කවුළුවකිනි.පසුගිය තෙදින පුරා දවසින් වැඩි කාලයක් එය වසා තිබුනි.
පහුගිය ටිකේ අඳින්න බැරි වුන බැනර් වගයක් අඳින්න ගියා නැන්දේ.චිත්‍ර කථා වගයකුත්  තිබුනා ඒවත් දුන්නා කොලඹ ගිහින්."
මා හිඳගන උන් අසුන අසලටම වී ඕ මගේ හිස අතගෑවාය,මට ඒ සෙනෙහසට ලෝබ සිතිනි.
මම හිස එහෙමම ඇගේ බඳට හේත්තු කළෙමි.

"ඔයා දුක් විඳිනවා වැඩියි පුතා.මටයි හේමන්තගෙ තාත්තටයි ඔයාව වැඩි නැහැ.ඔයා එන්න මෙහාට මම විසි තිස් වතාවක් ඔයාට මේ කතාව කියලා ඇති."
ඈ ආඩපාලි කීවාය .සැබෑය,එහෙත් මා අසරණයකු විය යුත්තේ මගේ හිතටත්,මා නොතකන අම්මාටත් පමණක් විය යුතුය.
"තව අවුරුදු එකහමාරයිනෙ නැන්දෙ.මාස දහ අටයි.ඒ ලෙවල් වලින් පස්සෙ මම පත්තරේට ෆුල් ටයිම් යනවානෙ,ඊට පස්සෙ මම නැන්දලට සලකන්නම්කො මේ කරන උදව් වලට."

අම්මාට අකීකරු වුවද මා අරණායක මහත්මියගේ සිත රිදවන්නට අකමැත්තෙමි.ඒ අඩුම තරමින් ඕ අම්මාට වඩා එක්වරක් හෝ මා"පුතා"නමින් අමතයි.අම්මා පුතා යැයි මට පවසන්නේ බාප්පා නිවසේ නැති විට වග මා හොඳින් දනිමි.
"පත්තරේටත් ගියා කිව්වනෙ,අද නම් අතේ සල්ලිත් ඇති නේද?ඒ වුනාට අද රෑට කෑම අරගනම තමා පුතා යන්නොන හොඳද?හේමන්ත නම් ටවුන් එකට ගියා,අන්කල් උඩ ජිම් එකේ.කැමති නම් යන්න."

"හොඳයි නැන්දෙ මම උඩට යන්නම්"
"පුතා...?"
යන්නට ගිය ඇය නැවත හැරුනාය..ඒ දෑස් වියපත් නමුදු විමසිලිමත් ය.
"දන්නවද?ස්කෝලෙන් ඔයාලට සතියක් පංති තහනම් කරලා කියලා පුතා"
ගැඹුරු සුසුම පිටවූයේත් මා හිස දෙපසට වනන්නට ඇත්තේත් එකම මොහොතක වන්නට ඇත.අප නිවැරදි නමුදු එවැන්නක් අප සියල්ලෝම බලාපොරොත්තු වීමු.
"අපි වැරැද්දක් කලේ නැහැ නැන්දෙ.පාඩුවෙ ඉඳිත්දි උන් තමයි අපිට ගැහුවෙ"

මම හිතේ බරින් පමණක් නිදහස් වන්නට සූදානම් වීමි.අරණායක මහත්මිය තවත් අඩියක් දෙකක් මාඉදිරියට ආවාය.යමක් දොඩන්නට පෙරාතුවම ඒ වතෙ'හි වූ ගැඹුරු බව මට දැණින.එය හිතේ බර දෙගුණ තෙගුණ කළා මිස අන් යමක් නැති.
"පුතාගෙ බාප්පාත් ඇවිත් උන්නා.හැමෝම ඉස්සරහා පුතාට නොසෑහෙන්න දේවල් කිව්වා,ඒත් මම දන්නවා ඇත්ත පුතේ."
"මො..මො.ක.ක්ද නැන්දෙ?"
මගේ දිව සම්පූර්ණයෙන්ම වියැලී තිබිණි.වචනයට අකුරු සොයා ගන්නට සිදුවිනි.
"ඔයාලා කවුරුවත් වැරදි නැහැ පුතා,අපේ පුතාගෙ සම්බන්දය තමයි හේතුව ."
සාරි පොටට උරාගන්නට අමතක වූ එකම එක කඳුළු බිඳුවක් පමණක් ටයිල් පොලවේ විදුලි එළියක් දිදුලමින් තිබුණි.  








2 comments:

  1. මම දෙපාරක්ම කියෙව්වා. ඒත් තේරුනේ නෑ.. සම්භාව්ය වැඩී වගේ.. කොහොමහරි තේරුම් ගන්නවා ඉන්නකෝ...

    ReplyDelete
  2. @ යසියා,
    මෙහෙමයි මල්ලෝ,ඔය තිත් ඉරෙන් උඩ තියෙන්නෙ කථාවෙ කොල්ලට මතක් වෙන දේවල් වලින් එයාගෙන් ඈත් වෙච්ච ගැහැණු ළමයට කරන ආමන්ත්‍රණයක්.යට තියෙන්නෙ කථන්දරය.මම ඔයා පෙන්නලා දුන්න දේ මීලඟ කොටසෙ ඉඳන් හරිගස්සන්නම්.ජය වේවා..!

    ReplyDelete