Saturday, May 28, 2011

නිම්තෙර ලඟ හිඳ........,හත්වන දිගහැරුම.




................................................................................................
සිරුරේ තුවාල නිසි කලට බෙහෙත් ලැබූ නිසාවෙන් දෙතුන් දිනකින් සුවපත් විය.අම්මාත් බාප්පාත් මා පිලිබඳ නොතැකූ බැවින් මගේ තුවාල සිතට වදයක් නොවිනි.එසේ නමුත් වෙනදා මෙන් නොව නිවසේ හිඳියදී උඩුකය වසා හිඳින්නට ගත වූ තෙදින තුල මට සිදු විය.
නමුදු වතාවක් මා කාමරයෙන් පිටතට ආ කල්හි මගේ වෙනස අම්මාගේ නෙතුවලට හසු විය.ඈ මා හඳුනන්නීය,නාඳුනන්නී සේ උන්නේ වී නමුදු ඈ මා හඳුනන්නීය.

මගේ මව් පෙම උවමනාවෙන් මට යටපත් කරගත නොහැකිවා සේම අම්මාටද ඇගේ දරු පෙම උවමනාවෙන්  සඟවා ගන්නට නොහැක.අද එය බෙදී ගිය දෙයක් නමුදු දරු පෙම යනු දරු පෙමය.
"තුෂිර,මොකද ඔයා වෙනස් වෙලා  ?ඔයා මොනවා හරි හංගන්න හදනවා."
"මම  ?නැහැ...!හැංගුවයි  මට මේ ගෙදරින් අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැනෙ නේද?"
මගේ පිළිතුරෙන් අම්මාගේ සිතට ආ කම්පනය සඟවාගන්නට ඈ අසාර්ථක උත්සාහයක යෙදුනාය.

"පුතා මම... මගේ පුතාට  බැරිතරම්ම අසරණ අම්මා කෙනෙක් කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනද?"
වට පිට බලා කිසිවකු නොමැති වගට සැක හැර, ඕ පරෙස්සමින් වචන හැසිරූ බව මගේ සිතට නොතේරුණා නොවේ.
"තව අවුරුදු ගානකින් ඔය කතාවෙ අනික් පැත්ත මට කියන්න සිද්ධ වෙන්න එපා කියලයි මම පතන්නෙ"
සිතේ දුක දෑසින් පනින්නට පොර කෑවේය.කරන්නට දෙයක් නොමැති තැන මම වේගයෙන් ඇසිපිය සැලුවෙමි.
කඳුළු මිස එයින් දුක නම් යට ගියේ නැත.
" ඔයා මොකටද එක එක්කෙනා එක්ක ගහගන්න යන්නෙ තුෂිර  ?ඔයාට ඕන මගෙන් පළිගන්නද  ?"
අම්මාද වේගයෙන් ඇසිපිය සලනු මට පෙනුනි.
"කව්ද කිව්වෙ??"
මට අම්මාට කෑ ගසා'මගේ දේවල් හොයන්නෙපා 'යයි කියන්නට අවැසි වූ නමුදු මා නිහඬවම තේරුමක් නැති හිනාවක් දොරකඩ මල් නැති හෙන්දිරික්කා පඳුරට දමා මගට බැසීමි.
"බාප්පාට ඔයා ගැන ආරංචි වෙන දේවල් එච්චර හොඳ නැහැ.!ඒ නිසා රෑ වෙන්න කළින් ගෙදර එන්න බලන්න."
අම්මා මා පසුපසම ගේට්ටුව අසබඩ තෙක් ආවාය.ඒ බොහෝ කළාතුරකින් සිදුවන්නකි,ඒ ද බාප්පා ගෙදර හිඳී නම් නොවේ.
"ඇයි එයාට මගෙ හොඳ විතරද ආරංචි වෙන්න ඕන...?පාඩුවෙ ඉන්න කියන්න."

"පුතා ගෙ තාත්තා නම් කවදාවත්ම ඔහොම නැහැ.එයා මගෙ හිත රිද්දලා ගෙදරින් එළියට ගිහින් නැහැ....!"
අම්ම වැකිය නවතා දිගු සුසුමක් ඔහේ දියව යන්නට හැරියාය.
"ඒත් ඔයා ඒ වගේ නෙවෙයි....හ්.ම්.හ්."
මම පාපැදියට නැග ආපසු අම්මා දෙසට හැරුණෙමි.
"මේ ගෙදර...,මම තාත්තා ගෙ පුතා කියන එකේ අයිතිවාසිකමවත් ඔයාගෙන් මට ලැබෙන්නෙ නැතිවෙනකොට ,මම බෝධිසත්වයෙක් වෙන්න හැදුවට ඒක සාර්ථක නැහැ."
වතාවක් වත් ආපසු හැරී නොබැලූ මම පාපැදියේ පැඬලය තදින්,හැකි පමණ තදින් පෑගුවෙමි.




No comments:

Post a Comment