Tuesday, April 19, 2011

නිම්තෙර ලඟ හිඳ......පලමු දිගහැරුම.


...............................................................................................
ඉතින් අවසරයි............

ඈත පෙනෙන වෙරලුලන්ද ගුරුපාර සිතුවමක් කරමින් හිරු බැස යයි.රාස්සිගේ අව්ව වැටී සියල්ල රන්වන් පැහයට හැරී තිබේ.නටුවට බර වැඩි නිසාවෙන් අරලිය මලක් ගිලිහී බමරයක් මෙන් කැරකී බිමට වැටෙනු මම බලා සිටියෙමි.
කනත්තේ සිටිනුයේ අනාරධිතවම පැමිනියහුන් ය.ඔවුන් එහි ආ පසු තමා සමග එන්නැයි කිසිවකුට අඞගසන්නේ නැත.යන විට කිසිවකුට කියා යන්නේද නැත.මා ද කනත්තට සිතුනු  විටෙක පැමින සිතුනු විටෙක ආපසු යමි.වෙනසකට ඇත්තේ මා මියෙමින් ජීවත්ව හිඳීම පමනෙකි.
"තුෂිර ,තවත් ඉවර නැද්ද බං උඹේ ඔය ඇඳිල්ල?උඹලගෙ බාප්පා ආවොතින් හෙම පටන් ගනී කන් වලින් ලේ එනකම්ම දෙඩවිල්ල.දැන් ගෙදර ගියොත් හොඳ නැද්ද?"
වන්දනා,ඕ මගේ අසල්වාසිනියයි.
මගේ දුක,සතුට,පසුතැවිල්ල ආදී සියල්ලටම කන් දෙන්නී ඇයයි.
අම්මාට නැති අයිතියක් ඕ විටෙක මවා,මට ඔවදන් දෙන්නීය.
"ටිකකින් යනව වන්දනා.තාම ඉවර නැහැ."
"කාටද ඔය අඳින්නෙ?"
තුත්තිරි ඇනෙනවාට බියෙන් දණහිස දක්වා ගවොම හකුලා ගත්තී කනත්ත දෙසට ආවාය.අඩ නිරුවත් දඟ යුගෙහි තුත්තිරි ගෑවීමෙන් හීන් කිතියකින් වන්දනා පෙලෙනු මා දුටිමි.
"ඉර බහින වෙලාවට කනත්තකට තියා පාරෙවත් යන්නේ නැහැ ගෑනු ලමයි.උඹ ඒක නොදන්නවා වගේ එන හැටි."
"ඒ තනියෙන් බං.දැන් මෙතන හොල්මන් එක්ක කය්ය ගහන උඹව දැක්ක නම් ඔය කතාව හදපු කෙනා ඒක මකලා වෙන එකක් කියනව ෂුවර්."
"මම හිනාවෙන්නද?"
"හිනාවෙන්න නෙවේ,මම අහපු එකට උත්තර දීපන්.කාටද ඔය අඳින්නේ?"
වන්දනා මා නිම කරමින් හුන් චිත්‍රය දෙසට සුරත දිගු කලාය.මට ඈ අවුස්සන්නට සිතුනි.
"ගොනාට නම් නෙවේ"
ඕ මා පින්සල් සේදූ වතුර වීදුරුව අතට ගත්තීය.
"යකෝ මම ඇහුවේ ඔය අඳින චිත්‍රය කාටද කියලා?"
"ආආආ මේක මේ සාහිත්‍ය දිනයට එලි දක්වන බිත්ති සඟරාවට."
"මට උඹෙන් පොඩි කාරණාවක් තියනව අහන්න.හැබැයි මට ඇත්තම කියපන් හරිද?"
මම අඳිමින් වුන් පින්සල ආපසු ගෙන වන්දනා  දෙස හැරී බැලීමි.ගැඹුරු දෙනෙතින් ඕ මදෙස බලා හිඳියාය.
"යකෙක් දිහා බලනවා වගේ මොකද?මේක කනත්ත වුනාට මම යකින්නක් නෙවෙයි."
"මෝහිනී කියන්නෙත් යකින්නක් තමා."
"විහිලු නවත්තපන් බං තුෂිර...ආආ අන්න උඹගෙ බාප්පා එනවා.බෙල්ල සාක්කුවෙ.මටත් එක්ක කියන දේ කියන්න කලින් මම යනවා.හෙට ඉස්කෝලෙදි හම්බ වෙමු."




අඩියට දෙකට කනත්තේ සීමාව පැන, වන්දනා සිය මිත්තණිය සමග වෙසෙන නිවස දෙසට දිව ගියාය.නමුදු බාප්පා ගේ මත් වූ දෑස වසා පැනගන්නට නම් ඕ අපොහොසත් විය.
"ඒයි ....කුමාරිහාමි තනියෙන් දුවන්නෙ ඇයි  උඹේ ප්‍රේමවන්තයාවත් අරගනම දුවපන්.පැනලා යන්නෙ දෙන්නත් එක්කමයි..."
දෝතින් මුහුන වසා ගත්තී විලියෙන් දිව ගියාය.
"හිහ් බලාපල්ලකො මූ රවන හැටි....රව රවා ඉන්නෙ නැතුව දුවපන් උඹත් අරකිගෙ පස්සෙන්.එතකොටනෙ පිල්ම් එක හරියටම ඇට් කොලා වෙන්නෙ." 
තාත්තා මිය ගියායින් පසු මගේ යහපතට යැයි කියා බාප්පා අපේ ගෙදර පැමින පදිංචි විය.සැබෑවටම අපගේ ජීවිත වලට කනකොකා හැඬුවේ එදා සිටය.
"තාත්තගේ මල්ලි වෙච්ච පලියට අපි හැමදාම ඉවසුවට බාප්පේ,බීපු පලියට බලු කතා කියන්න එපා"
නෑ කමින් බාප්පා වුවද ඒ බීමත් නරුමයා පාමුල පින්සල් සේදූ වීදුරුව කුඩුවන්නට ගැසූ මම පිට කරගත නොහුනු කේන්තිය දුකක්ව නෙතු පුරා ගලත්දී ඇඳි සියල්ල කනත්තේම තිබෙන්නට හැර ගෙතුලට වැදීමි.




3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හරිම ලස්සන චිත්‍ර... කතාවත් ඊට දෙවෙනි නැහැ. උඩම තියන “නිම්තෙර ළඟ හිද “ කියන අකුරු විත්‍රය දැක්ක ගමන් මට මතක් වුනේ මම ඉස්සර කියවපු පත්තරයක්....

    ඔයා ලංකාදිපය හරි සිරිකත වගේ පත්තරයකට හරි චිත්‍ර අදිනව ද ලියනව ද? කොහොම වුනත් ලස්සන චිත්‍ර සහ කතාවක් බලන්න පුලුවන් වෙයි අපට...

    ස්තූතියි .........

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි අගය කිරීමට.මම ලංකාදීප පත්තරයට වත් සිරිකතට වත් චිත්‍ර අඳින්නෙ නම් නැහැ.මම ඉන්නෙ ලංකාවෙන් එපිට.මම කාලෙකට ඉස්සර චිත්‍ර කතා ඇඳලා තියනවා.පත්තරයකට නවකතාත් ලියලා තියනවා.සමහර විට ඔයා ඔය කියපු පත්තරයේ මම පොඩි කතාවකුත් ඇඳලා ඇති.

    ReplyDelete