Friday, May 20, 2011

නිම්තෙර ලඟ හිඳ......,හයවන දිග හැරුම


......................................................................................................
"අර මනුස්සයා ඇවිත් අඬගහනවා බලපන්කො !"
ඔහු අවසාන වදන කීවේ තරමක තදෙනි.එනිසාමදෝ මට එදෙස බලන්නට සිත් විනි.
සිය දියණිය පාසලට භාර දෙන්නට පැමිණි තැනැත්තා මඳහසක් ද සහිතව අප දෙස බලා සිටියේය.
කලින් පසුපස අසුනේ හුන් ඔහුගේ දියණිය මෙවර ඔහු හා අසුන් ගෙන සිටියාය.

"අර බලහන්කො අරකි දැන් ඉස්සරහා ඉඳගන ඉන්න හැටි."
"උන්ගෙ කාරෙකේ ඒකි ඔලුවෙන් හිටගන උන්නත් උඹට මොකද බං?"
"පුතාලා ,අපි යමු .බෙහෙත් ටිකක් දාගමු.ඔක්කොමලා ඇවිත් නගින්න."
කාරුණික වූ නමුදු නියෝගයක්, විධානයක් ඒ හඬෙහි ගැබ්ව තිබුනි.
මම පාදයක් පෙරට තැබීමි."යමල්ලා!"ආපසු හැරී බලා අනෙකුන්ගේ හැඟීම් පිරික්සන්නට මට අවැසි නොවිණි.මම නිහඬවම මෝටර් රථය තුලට වැදීමි.විනාඩියක නැත්නම් දෙකක ප්‍රමාදයකට පසුව ගජමා ත් බිංකුණ්ඩාත් පැමිණ ,අසුන් ගති.
.................................................
සිරුරේ වූ තුවාල වලට බෙහෙත් දැමූ පසු දොස්තර ගාස්තුව ගෙවන්නටද ඒ පුද්ගලයා සැරසුනේය.ඔහු කරදර වින්දා බොහෝය.
"අන්කල් අපි නිසා කරදර වින්දා ඇති.තරහා වෙන්න එපා ,බිල අපි ගෙවන්නම් .පොඩ්ඩක් අපිව තේරුම් ගන්න  "
බිංකුණ්ඩා දරදඬු නොවන එහෙත් බැගෑපත් ද නොවන තත්වයක හිඳ කරුණුවටහා දෙන්නට උත්සාහ කරමින් උන්නේය.
සිය උපනෙතු ගලවා එදෙස මොහොතක් බලා හිඳ අනතුරුව අපදෙස ඊට වඩා කාලයක් බලාසිට කෙටි සුසුමක් වාතලයට මුසු කළේය.
ඔහු අමනාප වේ දැයි බියක් මට අහේතුකවම දැණුනි.
"පුතා.. කොළුකම කියන්නෙ ඒකට.මගේ විරුද්ධත්වයක් නැහැ.ඒත් තවමත් මම හිතන්නෙ ඔයාලව ඔයාලගෙ ගෙවල් වලට ඇරලලා එන එක මගේ වගකීමක් කියලයි."
මට අර සන්සුන් එහෙත් ආඩම්බර දෙනෙතු දෙස බැළුනි.ඒවාද මා දුටු නමුදු එසැනින්ම ම'නෙතු බැම්මෙන් ඇගේ නෙතු මඟහරින්නට වග බලාගති.මගේ නෙත් කෙවෙනි දැවිල්ලෙන් වෙළුනි.ඒ සිරුරේ වූ තුවාල අරභයා නම් නොවන වග මා දැන උනිමි.
"කමක් නැහැ අන්කල් ,මේ දේවල් උවමනාවටත් වැඩියි.අපි යන්නම්. අනික අපි ඉන්නෙ එකම හරියක නෙවෙයි,ඒක නිසා අපිව ඇරලවන එක ඇත්තටම අන්කල් ට කරදරයක්."
මේ කරුනාවන්ත මිනිසා ගේ මනුසත්භාවයටත් වඩා ඇගේ නෙත්වල තිබූ ගර්වය මගේ සිත පාරවන්නට ඇත.එහෙයින්ම මා ඔහු පිලිකෙව් කලෙමි.
සිය උපනෙතු පිසදා යළි පළඳා සිය බැල්ම පිළිබඳ සෑහීමට පත්වූ ඔහු මුව විවර කළේය.
"හරි පුතා මමත් ඔය වයස පැන්නානේ,හැබැයි ඉතින් කොළුකම් කොළුකම් වලින් එහාට යවන්න හදන්නෙපා"
ඔහුගේ අවවාදාත්මක කථාවට ගජමා හිසකසා බිමට හිනැහුනු අතර,බිංකුණ්ඩාත් මමත් ඔහුගේ සුරත් බදා ස්තූති කළෙමු.එහෙත් ඒ ආඩම්බරකාරී නම් වතාවක් වත් වැරදීමකින් හෝ අප දෙස නොබලන්නට ප්‍රවේසම් වූවාය.
"අන්කල්ට බොහෝම ස්තූතියි!"
නිහතමානී සිනහවකින් සියල්ල පිළිගත් හෙතෙමේ අපට පිළිතුරු පෑවේ වචන තුනකිනි.
"පුතාලා මමත් තාත්තෙක්"
සහේතුකව ඉපැදි විසල් දුකකුත් සමග මට මගේ තාත්තාව සිහිවුනි.






No comments:

Post a Comment