Saturday, May 14, 2011

"නිම්තෙර ලඟ හිඳ" ......පස්වන දිගහැරුම..!





බොහෝ සේ දිගටි නොවූ ඕවලාකාර හිස,වෙහෙරක මුදු හැඩය සිහිගැන්වූ නළලත,විසල් සන්සුන් නෙතු,මනා සේ වාත්තු කර නිමැවූ නාසය ,සිහින් දෙතොල්,උල් නිකට, ආදී සියල්ල එකට කැටි වූ තැන මා දුටුවේ නවීන පන්නයේ "ෂර්මිලා තාගෝර්" කෙනෙකි.
අදහන්න, ඇය ෂර්මිලා තාගෝර් ට වඩා සුන්දරය.තර්කයක් නැත.

"ඉන්නකො දරුවෝ,මේ පුතාලට කරදරයක් වෙලා වගෙයි.බලන්න,ඇඳුම් හෙමත් ඉරිලා.!"
හෙතෙමේ සිය දූ ඇමතූ මුත් මට හැඟුනේ බෝසේ සන්සුන් හඬින් දුන් අණක් පරිද්දෙනි.
මම තවත් වතාවක් ඒ නෙතු සෙවීමි.ඒවා අප හුන් පසට අනෙක් පස  තුබූ මොනවාදෝ සොයමින් උන්නාය.

"පුතාලා ට කරදරයක් වෙලා වගෙයි.ඔයාලාට උදව්වක් ඕන කියලයි මම හිතන්නෙ,මට පුලුවන් ඔයාලාට උදව් වෙන්න."
සැවොම පිළිතුරක් බලාපොරොත්තුවෙන් එකිනෙකාගේ මුහුණු පිරික්සුවෝය.
එහෙත් ලැබුනු දෙයක් නම් නැත.එම තැනැත්තාම යලි කට හඬ අවදි කළේය.

"තුවාල වෙච්චි පුතාලා මේ කඩේ ගාව ඉන්න.මම ආපසු එත්දි ඔයාලව ගෙවල් වලට ඇරලවන්නම්.ඒ ගමන්ම  තුවාල වලට බෙහෙත් දාගමු.!"
එ නාඳුනනා තැනැත්තා පාසල තුලට ගියේ අප ඉදිරියේ පොරොන්දුවක්ද තබාය.
යන්නට පෙරාතුව මා කුමක්දෝ නොදන්නා කාරණයක් උදෙසා ඒ සන්සුන් දෙනෙතු සෙවීමි.
මා ජීවිතයේ කිසිදා නොදැකි හැඟීමකින් ඒ නෙතු පිරී තිබුනි.

"කව්ද බං ඒ උත්තමයා..?"
ගජමා බැලුවේ මා දෙසය.
"කව්ජ..?ඇයි උඹ හිතුවෙ මම ගොය්යගෙ ඇනෙක්ස් එකක පදිංචි වෙලා ඉන්නවා කියලද?එහෙම නැත්නම් ජේම්ස් බොන්ඩ් කියලද?"
"පලයං බං යන්ඩ!උඹ මේ අනාගත් නෑ කමක් හදාගන්ඩ වගේ හිටි හින්දා මම ඇහුවෙ"

" 'නෑ' කමක් හදාගන්ඩ මට 'ඕනෑ' නෑ.මට දැන් ඕන මේ හිඟන්නො වගේ ඉන්නෙ නැතුව ගෙදර  යන්න විදිහක් හොයා ගන්න.කට වහං  ඒ ගැන පොඩ්ඩක් හිතහං,වාචාලයා වගේ කියවන්නෙ නැතුව."
මගේ දෑත් මිට මෙලවිනි.වචනවලද ගින්දර තැවරී තිබෙන්නට ඇත.
"මේ හ් ,වඳින්නම්. උඹලට ගහගත්තා මදිද බං?පලයල්ල ශාන්ත අය්යගෙ කඩේ පිටිපස්සට.මම ෂර්ට් දෙක තුනක් අරන් එන්නම්,ඉන් පස්සෙ අර ගොබිලා උඹලව ගෙනිහින් දාවිනෙ යන්න ඕන තැනකට.
.................................................................................................

හේමන්ත ගෙනා ඇඳුම් වලින් සැරසී අප පාසල් පටුමග ගෙවා මහ පාරට පැමිනියෙමු.අපට ඉන්නට කියූ පුද්ගලයා පිළිබඳව කිසිවකු තැකීමක් කළේ නැත.'එතොත් ආවාවෙ' යන්නට වඩා හැඟීමට වඩා යමක්,අප කිසිවකු තුල ඔහු සම්බන්ධයෙන් තිබුනේ නැත.
"උඹ හෙට එනවද තුෂිර?"
බිංකුණ්ඩා ඇසුවේ මගෙනි.
මම ගජමාගේ මුහුණ දෙස බැලීමි.

"එමුද ?"
"වන්නියාගෙන් තත්වෙ දැනගෙනම එමු.පිනාට සීන් එක ලීක් වෙලා තිබුනොත් කොහොමටත් සතියක ටොපියක් ෂුවර්.පොඩ්ඩක් බලලා එන එක ඇඟට ගුණයි."
එසැණින්ම වාගේ අප අසලින් නැවතූ වාහනයක නළා හඬක් ඇසුණි.
" තුෂිර..?"
බිංකුණ්ඩා ගේ හඬ මොහොතක නිහඬ බව බිඳලුවේය.
"මොකද බං...??".


විරාමයකට අවසරයි.......!









3 comments:

  1. කතාවේ කොටස් කීපයක්ම ලියලා නේද මචං . . නිවාඩු පාඩුවේ කියවලාම කොමෙන්ට් දාන්නම් . . .

    ReplyDelete
  2. මචං,දුකා.
    තව විස්සකට වඩා ලෑස්තියි.චිත්‍ර අඳින්නයි තියෙන්නෙ.

    ReplyDelete
  3. එල එල එහෙනම් ලියපන් . . සම්පූර්න කතාවම ලියල ඉවර උනාම කියවන්නම් . .. හෙ හෙ හේ

    ReplyDelete